Wednesday, May 30, 2018

සංස්කෘතියේ රැළි මවන රූප පෙට්ටිය

 

                     
          


                                                      සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස්ව පවතින්නේ පුද්ගල ජිවන  අවශ්‍යතා පදනම් කරගනිමිනි. වර්තමානය වනවිට මාධ්‍ය  සංදේශ අනුව ස්වකිය  අවශ්‍යතා ගොඩනංවා ගැනීමේ ප්‍රවණතාවයට පුද්ගලයා යොමුවී අවසානය . වර්තමානය වන විට ජනමාධ්‍ය බොහෝ ජනජීවිතයේ කාර්යයන් වල අනුප්‍රාප්තිකයා ලෙස කටියුතු කිරීම දැකගත හැක. අදවන විට දරුවන් තම ආච්චි සීයාගෙන් කතන්දර ආසිමේ කලාව ඉවතට ගොසින්ය. අද එම කර්තව්‍ය භාරගෙන ඇත්තේ මාධ්‍යය. ප්‍රෝඪ  ඉතිහාසයකට උරුමකම් කියූ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ , විරුවන්ගේ  ලෙයින් උපන් අපේ පරම්පරාවේ කතාන්දරය වසන් කරමින් බෙන්ටෙන් ලා ,ස්පයිඩර් මෑන්  ලා , පරමාදර්ශී ප්‍රතිරුප ලෙස දරුවන්ගේ  මනසට කාවද්දීමේ අවර ගණයේ  උත්සාහයක වත්මන් මාධ්‍ය නියලෙමින් සිටි .
                                                         වත්මන් මාධ්‍ය පුද්ගල චර්යාව වෙනස් කරනුයේ අපටත් නොදනිම ය .නිවසක රාත්‍රී කෑම  මේසය   පවුලේ සියලු දෙනාගේ එකමුතුකම සනිටුහන් කරන ලද නමුත් වර්තමානයේදී නම් පවුලේ සියල්ල එක්තැන් වන තැන රුප පෙට්ටිය බවට   පත්කරගෙන අවසනය . මෙලෙසට පුද්ගල සිරිත් විරිත් චර්යාවන් වෙනස් කරමින් මාධ්‍යයේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ ප්‍රභල හැකියාවත් ඔවුන් සතුය .
 අතීතයේ සිට චාම් සරල දිවි පැවැත්මක් අගය කල  පුද්ගලයා අදවන විට අසීමාන්තික අවශ්‍යතාවන් ගොන්නක් පසුපස ලුහුබදි . අද  වත්මන් වෙළදපොල තුල කාන්තාව ප්‍රධාන ඉලක්කගත ග්‍රහකයෙකි . විශේෂයෙන්  නිය , හිසකෙස් , සම ආදී වශයෙන් ගත්කල  හිසේ සිට දෙපතුල දක්වා සියලු අංග  සදහා විවිධ නිෂ්පාදනයන් කාන්තාව ඉලක්ක කරගෙන හදුන්වාදී තිබෙන්නේ ඇය බහුභාණ්ඩික  චරිතයක් බවට පත් කරමිනි . මෙලෙසට මාධ්‍ය මගින් පුද්ගලයාගේ මුලික අවශ්‍යතාවන් වෙනුවට ව්‍යාජ අවශ්‍යතාවයන් මතුකරමින් ව්‍යපාරිකයන් හට   අවශ්‍ය වෙළදපොල නිර්මාණය කරදීමේ ක්‍රියාදාමයක නිරතවනු දක්නට ලැබේ . මේ අනුව බලන කල  මාධ්‍යක මුලික අරමුණ වූ මහජන සේවාව අදවන විට මහජනයා මුලාකිරිම දක්වා වෙනස් වීමකට ලක්ව ඇත්තේ තම පැවැත්ම වෙනුවෙන් ලාභය උපරිම කර ගැනීමේ අරමුණ මත පදනම් ව වන බව පැහැදිලිය .
                                                මේ සියලු කරුණු හමුවේ  අප  තරයේ අවධානයට ලක් කරගත යුතු කරුණක් පවතී . රට තුල බලවත්, ලෝකය තුල බලවත් නිෂ්පාදන සමාගම් තම ලාභය උපරිම කරගත හැකි කුමන හෝ මාවතක් වෙනුවන් මේ වන විටත් ඔබ මම ඇතුලු අප සැමගේම චර්යාවන් අධ්‍යනයක  නිරත වෙම්න් සිටි . එහි අරමුණ ඔබේ  ච්න්තන රටාව වෙනස් කරමින් වෙළදපොල තුල ඔබ බහුභාණ්ඩික , සංකර  චරිතයක් බවට පත් කිරීමයි. මෙවැනි පසුබිමක් තුල සමාජය අවදි කරන , සමාජය තුල යහපත් හරපද්ධතීන් නිර්මාණය  කිරීමට උරදිය යුතු මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාම පිලිබදව මාධ්‍ය හිමිකාරිත්වය වගකිවයුතු අතර මාධ්‍ය සංදේශ විචාරශීලිව පරිශීලනය කරමින් මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතු ග්‍රහකත්වයක් ගොඩනගා ගැනීම පරිශීලකයාගේද  යුතුකමකි .

     අකිලා නිර්මානි ද  සිල්වා 

Wednesday, May 23, 2018

යකඩ යකාට බිලි වෙන්ට පෙර


                                               

       

 සල්ලාලයකුගේ 
අල්ලප සල්ලාපයට මුලා වී 
යකඩ යකාට බිලිවෙන්ට 
පහේ කෝච්චිය එනතුරු 
රේල් පීල්ලට වී බල සිටින 
නංගියේ දන්නවාද ?
නුබේ අම්මා 
කම්හලේ හදන 
රෙදි පොට්ටනි එක්ක 
ඔට්ටු වෙලා ගත්ත සොච්චමෙන්
 හදපු රන් මාලෙත් අරං 
නුබ බලන්න පහේ කෝච්චියේ ගෙදර එන ගමන්... 

Saturday, May 19, 2018

මුහුණු පොතේ ඝාතකයෝ



                                                   

                                  

                        


                                                      සන්නිවේදනයේ දියුණුවත් සමඟම මිනිසාගේ සමාජ සම්බන්ධතාද විශ්වයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් ඇත. එම සම්බන්ධතා ගොඩනැංවීමේ ක්‍රමවේදයක් ලෙස ෆේස්බුක් හෙවත් මුහුණු පොතට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. අන්තර්ජාලය තුළ සමාජ සම්බන්ධතා, තාක්ෂණය වැඩිදියුණු කරමින් නිර්මාණය කරන ලද මෙය අන්තර්ජාල ඉතිහාසය තුළ බිහි වූ ලෝකයාට බෙහෙවින් බලපැම් කළ හැකි සමාජ ජාලයක් වශයෙන් හැඳින්වීමට පුළුවන.


ලෝකයේ සිටින පුද්ගලයන් එකිනෙක සම්බන්ධ කරන්නා වූ හුයක් බවට වර්තමානයේ මුහුණුපොත ඉදිරියෙන්ම සිටියද මෙහි නිශේධනීය පැතිකඩක් ද පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඕනෑම දෙයක් යහපත් ලෙස භාවිත කිරීමට හැකියාව තිබියදී එය අයහපතටම යොදා ගන්නා පිරිස අප අතර ද නැතුවාම නොවේ. ෆේස් බුක් ද එවැන්නකි. එකිනෙකාට බැණ වදිමින් නින්දා -අපහාස කරමින් වෛරය වැපිරවීමේ මෙවලමක් ලෙස ෆේස්බුක් භාවිත කරන්නන්ගෙන් අඩුවක් නැත. මෑතක දී සිට ඉතා සුලභව මුහුණුපොත හරහා විවේචනයට ලක්වන පිරිසක් ලෙස සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හැඳින්වීමට පුළුවන. විවිධ ආකාරයෙන් සිදු කරනු ලබන විවේචන හේතුවෙන් සමාජයේ ජනමතය ද සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් කෙරෙහි විවේචනශීලී මුහුණුවරක් ගැනීම අරුමයක් නොවේ. විශේෂයෙන් මෙම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් යනු කවුරුන්දැයි යන්න පිළිබඳව නිසි අවබෝධයකින් තොරවීම මෙම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන කරුණ වී ඇති බව පැහැදිලිය.
සංක්‍රාන්ති ලිංගිකයන් යනු කවුරුන්ද?
ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව අප හඳුන්වන්නේ උපතින්ම හිමි වන ලිංගිකභාවයේ වෙනසයි. ජීව විද්‍යාත්මකව ස්වභාවිකව සියලුම ජීවීහු ස්ත්‍රී පුරුෂ යන බෙදීමට ලක්ව උපත ලබයි. ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇති මෙම ජීව විද්‍යාත්මක ලිංගික වෙනස හේතුවෙන් ඔවුනොවුන්ගේ අඟ පසඟ ඉන්ද්‍රියන් හා ශරීර වර්ධනය වෙනස් අයුරින් සිදු වේ. ජීව විද්‍යාත්මකව ස්ත්‍රියට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක පටන් වෙනස් වූ සමාජ තත්ත්වයන් මෙම දෙපක්ෂය සඳහාම නිර්මාණය කර ඇත. විශේෂයෙන් මේ අයුරින් තමන්ට උපතේදීම සංස්කෘතික වශයෙන් ලබා දෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීමට අකමැති එකිනෙකා අතර විවිධ වෙනස්කම් ඇති පුද්ගලයන් සිටින අතර ඔවුන් හැඳින්වීමට යොදනු ලබන පොදු වචනයක් ලෙස සංක්‍රාන්ති ලිංගිකයන් හැඳින්වීමට පුළුවන. සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු යනු විරුද්ධ ලිංගය සමඟ මානසිකව අනන්‍ය වූත් ඇතැම්විට අවශ්‍ය කායික පෙනුම ලබා ගැනීමට බාහිර සැත්කම් හෝමෝන ප්‍රතිකාර කර ගැනීම මඟින් විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු ලෙස ජීවත්වීමට උත්සාහ කරන්නාවූ පුද්ගලයෙකි.
මෙවැන්නෝ පුරුෂයන් ලෙස ඉපදී සිටියත් ස්ත්‍රියක් ලෙස ජීවත්වීමට කැමැත්තක් දක්වති. ස්ත්‍රීන්ද එසේමය. හෝමෝන් ප්‍රතිකාර හා ශල්‍යකර්ම මඟින් පරිවර්තනයට ලක්වූවෝ බොහෝය. උදාහරණයක් ලෙස වෙනිසියුලාවේ දේශපාලන ක්‍රියාකාරිනියක වන තමරා ඒඩ්‍රියන්, ඉන්දියාවේ පොලිස් නිලධාරිනියක වන ප්‍රීතිකා යශිනි වැන්නන් පෙන්වා දිය හැකියි. මොවුන් එම රටවල උසස් රැකියාවලට උරුමකම් කියුවද ලංකාව තුළ එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය.
මානසිකව ඝාතනය කිරීම
වර්තමානයේ ඉතා ජනප්‍රියව පවතින විනෝදාස්වාදයපදනම් කරගත් ෆේස්බුක් පිටුවල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එහි අර්ථයවත් නොදත් පුද්ගලයන් වීම ශෝකයට කරුණකි. ආනන්දයෙන් ප්‍රඥාව කරායොමු කරවීම. විනෝදාස්වාද සම්පාදනයේ මුඛ්‍ය අරමුණ බවට පත් වුවද වර්තමානයේ ෆේස් බුක් පිටුවල දක්නට ලැබෙන්නේ පුද්ගලයන් මානසිකව ඝාතනයට ලක් කිරීම්ය. මෙම ෆේස්බුක් පිටුවල නිරන්තරයෙන් අපහාසයට ලක්වන පිරිසක් ලෙස සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් දැක්විය හැකිය. මුවා” “සමනලයාවැනි විවිධ සතුන්ගේ නම්වලින් පවා තමන්වැනිම තවත් මනුෂ්‍යයෙකු හැඳින්වීම කොතරම් දුරට සාධාරණදැයි අප අපගෙන්ම ඇසිය යුතුය. අප දන්සැලක් දුන් විට එය මහා බත් දන්සැලවන්නටත් ඔවුන් දන්සැලක් දුන්විට “සමනල දන්සැලවන්නටත් හේතුව කුමක්ද? මේ සියල්ල අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුය. මේ ලෝකයට බිහිවන සියල්ලන් සියයට සියයක්ම සර්ව සම්පූර්ණව උපත ලබන්නේ නැත. අප සෑම කෙනෙකු තුළම යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන. උපතින්ම මානසික ශරීරයට හිමි කායික ශරීරය නොලැබීම ඔවුන්ගේ වරදක් නොවන බව අප වටහා ගත යුතුය.
සමානාත්මතාවය, මානව හිතවාදී බව පිළිබඳ නිරන්තරයෙන් කථා බහට ලක් වන මෙවන් සමාජයක අප වැනිම තවත් මනුෂ්‍යයන් පිරිසක් ෆේස්බුක් හි විනෝදාස්වාද සම්පාදන යැයි දක්වා ඇති පිටුවල පළවන පෝස්ටර් හේතු කරගෙන මානසිකව දිනෙන් දින ඝාතනයට ලක්වන බව කිවයුතුය. ‍ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප වැනි ජාතියක සංස්කෘතිය විනාශ කිරීමට පැමිණි බලවේගයක් දෙස බලන කෝණයෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් දෙස බැලීමෙන් අප මිදිය යුතුය. අපේම සහෝදරියක්සහෝදරයෙකු වුවද මෙවැනි තත්ත්වයකට පත් විය හැකි බවද මතක තබා ගත යුතුය.
තවදුරටත් මානසික ඝාතකයෙකුගේ භූමිකාවෙන් විනෝදාස්වාද සම්පාදනය උදෙසා පවත්වාගෙන යන ෆේස්බුක් පිටු බැහැර විය යුතු අතර සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ද අප වැනිම මනුෂ්‍යයෝය යන්න නිරන්තර සිත්හි තබාගෙන කටයුතු කිරීම වැදගත් වේ.
අකිලා නිර්මාණි ද සිල්වා


Wednesday, May 16, 2018

සමාජ ජාලය ජංජාලයක් නොවන්නට නම්...


               

මිනිසා අත්පත් කරගත් තාක්ෂණික දියුණුවත් සමඟ සන්නිවේදන ක්ෂේත්‍රයට එක්වූ වේගවත්ම මාධ්‍යය ලෙස අන්තර්ජාලය හැඳින්වීමට හැකිය. අන්තර්ජාලය තුළ පවතින රියැලිටි රූපවාහිනිය ලෙස සමාජ ජාල මාධ්‍ය හඳුන්වනු ලබයි.පුද්ගලයෙකුට තවත් පුද්ගලයකු සමඟ සජීවීව සම්බන්ධතා ගොඩනංවා ගැනීමට, පවත්වාගෙන යාමට අවස්ථා සලසා දෙන තෙවන පාර්ශ්වීය වගකීම සමාජ ජාල මාධ්‍ය මඟින් ඉටුකරනු ලබන බව පැහැදිලිය.
මෙහිදී ට්විටර්, ෆේස්බුක්, ලින්ක්ඩ්ඉන් වැනි සමාජ ජාල මාධ්‍ය නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැකිය. මේ අතුරින් ලොව විශාලතම සම්බන්ධතා ජාලයක් ගොඩනඟාගෙන ඇති ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍ය ලෙස ෆේස්බුක්මාධ්‍ය හැඳින්වීමට පුළුවන. ලෝකයේ බිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට ෆේස්බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවියට හැකිව තිබේ.
සයිබර් අවකාශය තුළ මිත්‍රත්වය, ආදරය, විනෝදය, දැනුම, අලෙවිකරණය එකිනෙකා අතර ගනුදෙනු කිරීමට යොදාගන්නා ප්‍රබලතම සන්නිවේදන මාධ්‍ය ෆේස්බුක් බවට වර්තමානයේ පත්ව ඇත. එබැවින් හොඳ - නරක අතර දෝලනය වන සාධක අතර වර්තමානයේ කතාබහට ලක්වන ප්‍රබල අන්තර්ජාල මෙවලමක් බවට මෙම සමාජජාල මාධ්‍යය වී ඇත. මෙතරම් වූ විශාල බලපෑමක් කළ හැකි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ස්වකීය සම්බන්ධතා පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් මාධ්‍ය තුළ ඔබ කොතරම් ආරක්ෂිත ද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.

අවදානමට පෙර සුවදානම                                          

වර්තමානයේ පාසල් යන වයසේ දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා ෆේස්බුක් මාධ්‍යයේ නියෝජනය වේ. දිනෙන් දින ෆේස්බුක් මාධ්‍ය සමඟ සම්බන්ධ වන්නන් වර්ධනය වනවාත් සමඟම එකී ක්ෂේත්‍රය හා සම්බන්ධ නීති විරෝධි ක්‍රියාවන්වල ද වර්ධනයක් දක්නට ලැබේ. එබැවින් ආරක්ෂිතව ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් විය යුතු අතර බොහෝ දෙනකුට ඒ පිළිබඳව පවතින්නා වූ දැනුම අල්ප වේ. විශේෂයෙන් බොහෝ දෙනකු තමන් ෆේස්බුක් ගිණුමට ඇතුළත් වීමට යොදනු ලබන මුර පදය කොතරම් දුරට ආරක්ෂිත වනවා ද යන්න පිළිබඳව පවා එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත.
 මුර පදය යෙදීමේදී එය පහසුවෙන් තවත් අයෙකුට අනුමාන කළ නොහැකි පදයක් විය යුතුය. විශේෂයෙන් බොහෝ පුද්ගලයන් තමන්ගේ උපන් දිනය නමේ මුල් අකුරු කිහිපය නැතහොත් තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය තම ගිණුමේ මුර පදය වශයෙන් භාවිත කරනු ලබයි.මෙවැනි අවස්ථාවකදී ඉතා පහසුවෙන් තවත් පුද්ගලයකුට තමන්ගේ ගිණුමට ඇතුළත් වීමට අවස්ථාව උදා වේ. එබැවින් ගිණුමට මුර පදය යෙදීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය.
එමෙන්ම මිතුරන් ලෙස මුහුණු පොතට එකතු කරගනු ලබන පුද්ගලයන් පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් සිටීම වැදගත් වේ. කිසි දිනෙක නොදුටු මිතුරන් තමන්ගේ ජීවන සහකරු, සහකාරිය කරවා ගැනීමට පවා ඇතැමෙක් දෙවතාවක් නොසිතයි.
විශේෂයෙන්ම මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වූ පුද්ගලයන් අවසන සියදිවි නසා ගැනීම් හරහා තමන්ගේ ජීවිතයට සමුදුන් අවස්ථාවලට උදාහරණ පසුගිය කාල වකවානුව තුළ සුලබව වාර්තා විය. මේ සියල්ල පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත්ය.
එමෙන්ම ෆේස්බුක් මාධ්‍ය භාවිත කරනු ලබන පුද්ගලයන් බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයක් ලෙස තමන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම ඉදිරිපත් කළ හැක.
මෙවැනි අවස්ථාවකදී ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගත හැකි, එමෙන්ම ලංකාවේ අන්තර්ජාල අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතන පිළිබඳව ද දැනුවත් භාවයක් ලබා තිබීම වැදගත් වේ. CERT හෙවත් ‘Computer Emagency Ready Team’ ආයතනයට මෙන්ම ශ්‍රී ලංකා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකය වෙත පරිගණක හා අන්තර්ජාල සම්බන්ධ අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතන වේ.
සමාජ ජාල මාධ්‍ය හරහා පුද්ගල අදහස්, මතවාද ඉදිරිපත් කිරීමට මෙන්ම, විවිධාකාරයේ සමාජමය ප්‍රපංචයන් පරිහරණය කරමින් ඒවා සමඟ ගනුදෙනු කරමින්, හුවමාරු කරමින් එහි සැරිසැරීමට නව සම්බන්ධතා වර්ධනය කරගැනීමට උපකාර වනවා සේම, එහි පවතින්නා වූ අයහපත් පැතිකඩයන් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් මෙම ජාල මාධ්‍ය පරිහරණය කිරීම පරිශිලකයාගේ යුතුකමකි.
අකිලා නිර්මාණි ද සිල්වා