Wednesday, May 16, 2018

සමාජ ජාලය ජංජාලයක් නොවන්නට නම්...


               

මිනිසා අත්පත් කරගත් තාක්ෂණික දියුණුවත් සමඟ සන්නිවේදන ක්ෂේත්‍රයට එක්වූ වේගවත්ම මාධ්‍යය ලෙස අන්තර්ජාලය හැඳින්වීමට හැකිය. අන්තර්ජාලය තුළ පවතින රියැලිටි රූපවාහිනිය ලෙස සමාජ ජාල මාධ්‍ය හඳුන්වනු ලබයි.පුද්ගලයෙකුට තවත් පුද්ගලයකු සමඟ සජීවීව සම්බන්ධතා ගොඩනංවා ගැනීමට, පවත්වාගෙන යාමට අවස්ථා සලසා දෙන තෙවන පාර්ශ්වීය වගකීම සමාජ ජාල මාධ්‍ය මඟින් ඉටුකරනු ලබන බව පැහැදිලිය.
මෙහිදී ට්විටර්, ෆේස්බුක්, ලින්ක්ඩ්ඉන් වැනි සමාජ ජාල මාධ්‍ය නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැකිය. මේ අතුරින් ලොව විශාලතම සම්බන්ධතා ජාලයක් ගොඩනඟාගෙන ඇති ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍ය ලෙස ෆේස්බුක්මාධ්‍ය හැඳින්වීමට පුළුවන. ලෝකයේ බිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට ෆේස්බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවියට හැකිව තිබේ.
සයිබර් අවකාශය තුළ මිත්‍රත්වය, ආදරය, විනෝදය, දැනුම, අලෙවිකරණය එකිනෙකා අතර ගනුදෙනු කිරීමට යොදාගන්නා ප්‍රබලතම සන්නිවේදන මාධ්‍ය ෆේස්බුක් බවට වර්තමානයේ පත්ව ඇත. එබැවින් හොඳ - නරක අතර දෝලනය වන සාධක අතර වර්තමානයේ කතාබහට ලක්වන ප්‍රබල අන්තර්ජාල මෙවලමක් බවට මෙම සමාජජාල මාධ්‍යය වී ඇත. මෙතරම් වූ විශාල බලපෑමක් කළ හැකි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ස්වකීය සම්බන්ධතා පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් මාධ්‍ය තුළ ඔබ කොතරම් ආරක්ෂිත ද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.

අවදානමට පෙර සුවදානම                                          

වර්තමානයේ පාසල් යන වයසේ දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා ෆේස්බුක් මාධ්‍යයේ නියෝජනය වේ. දිනෙන් දින ෆේස්බුක් මාධ්‍ය සමඟ සම්බන්ධ වන්නන් වර්ධනය වනවාත් සමඟම එකී ක්ෂේත්‍රය හා සම්බන්ධ නීති විරෝධි ක්‍රියාවන්වල ද වර්ධනයක් දක්නට ලැබේ. එබැවින් ආරක්ෂිතව ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් විය යුතු අතර බොහෝ දෙනකුට ඒ පිළිබඳව පවතින්නා වූ දැනුම අල්ප වේ. විශේෂයෙන් බොහෝ දෙනකු තමන් ෆේස්බුක් ගිණුමට ඇතුළත් වීමට යොදනු ලබන මුර පදය කොතරම් දුරට ආරක්ෂිත වනවා ද යන්න පිළිබඳව පවා එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත.
 මුර පදය යෙදීමේදී එය පහසුවෙන් තවත් අයෙකුට අනුමාන කළ නොහැකි පදයක් විය යුතුය. විශේෂයෙන් බොහෝ පුද්ගලයන් තමන්ගේ උපන් දිනය නමේ මුල් අකුරු කිහිපය නැතහොත් තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය තම ගිණුමේ මුර පදය වශයෙන් භාවිත කරනු ලබයි.මෙවැනි අවස්ථාවකදී ඉතා පහසුවෙන් තවත් පුද්ගලයකුට තමන්ගේ ගිණුමට ඇතුළත් වීමට අවස්ථාව උදා වේ. එබැවින් ගිණුමට මුර පදය යෙදීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය.
එමෙන්ම මිතුරන් ලෙස මුහුණු පොතට එකතු කරගනු ලබන පුද්ගලයන් පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් සිටීම වැදගත් වේ. කිසි දිනෙක නොදුටු මිතුරන් තමන්ගේ ජීවන සහකරු, සහකාරිය කරවා ගැනීමට පවා ඇතැමෙක් දෙවතාවක් නොසිතයි.
විශේෂයෙන්ම මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වූ පුද්ගලයන් අවසන සියදිවි නසා ගැනීම් හරහා තමන්ගේ ජීවිතයට සමුදුන් අවස්ථාවලට උදාහරණ පසුගිය කාල වකවානුව තුළ සුලබව වාර්තා විය. මේ සියල්ල පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත්ය.
එමෙන්ම ෆේස්බුක් මාධ්‍ය භාවිත කරනු ලබන පුද්ගලයන් බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයක් ලෙස තමන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම ඉදිරිපත් කළ හැක.
මෙවැනි අවස්ථාවකදී ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගත හැකි, එමෙන්ම ලංකාවේ අන්තර්ජාල අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතන පිළිබඳව ද දැනුවත් භාවයක් ලබා තිබීම වැදගත් වේ. CERT හෙවත් ‘Computer Emagency Ready Team’ ආයතනයට මෙන්ම ශ්‍රී ලංකා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකය වෙත පරිගණක හා අන්තර්ජාල සම්බන්ධ අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතන වේ.
සමාජ ජාල මාධ්‍ය හරහා පුද්ගල අදහස්, මතවාද ඉදිරිපත් කිරීමට මෙන්ම, විවිධාකාරයේ සමාජමය ප්‍රපංචයන් පරිහරණය කරමින් ඒවා සමඟ ගනුදෙනු කරමින්, හුවමාරු කරමින් එහි සැරිසැරීමට නව සම්බන්ධතා වර්ධනය කරගැනීමට උපකාර වනවා සේම, එහි පවතින්නා වූ අයහපත් පැතිකඩයන් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් මෙම ජාල මාධ්‍ය පරිහරණය කිරීම පරිශිලකයාගේ යුතුකමකි.
අකිලා නිර්මාණි ද සිල්වා