Tuesday, June 12, 2018

අයිතිය ලැබෙන තොරතුරු පනත

                                                         

                                                   තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඔක්සිජන් බඳු ය. තොරතුරු දැනගැනීම පුරවැසියකු විෂයෙහි පවතින මූලික අයිතිවාසිකමකි. මුල්කාලීන රාජාණ්ඩු පාලනයක් තුළ රජය සතු තොරතුරු ඉතා රහසිගතව පවත්වාගෙන ගියද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය පැමිණීමත් සමඟ මුල් කාලීනව පැවැති මතවාද සියල්ල උඩු යටිකුරු කරමින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන පිළිබඳව තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් පවතින බවට මතවාදයක් ඉදිරියට පැමිනුණි. ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපිත වී වසර ගණනාවක් ගත වුව ද ප්‍රජාතන්ත්‍රවා‍දයේ ඔක්සිජන් බදු වූ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට නිසි වටිනාකමක් ලැබෙන්නේ 2015 මැතිවරණයෙන් බලයට පත් වූ යහපාලන රජයත් සමඟිනි. ඒ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුව 2016 අගෝස්තු මස සම්මත වීමෙන් අනතුරුව ය.
                                                     රටේ අනෙකුත් නීති පිළිපැදීමට ජනතාව වගකිව යුතු වුව ද මෙම පනත මඟින් රාජ්‍ය අංශය හා නිලධාරීන් ජනතාවට වගකීමට බැඳී සිටීම පනතේ පවතින විශේෂත්වයක් ලෙසට ද ඉදිරිපත් කළ හැක. නමුත් ශෝකයට කරුණ නම් මෙතරම් වැදගත්කමකින් හෙබි තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව හෝ එහි වැදගත්කම පිළිබඳව හෝ මහජනතාවට පවතින දැනුම්වත් භාවය අල්ප වීම ය.
                          එබැවින් තොරතුරු පනත විශේෂවන්නේ නැතහොත් වැදගත් වන්නේ කුමන කාරණා ප්‍රමුඛ කරගෙන ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා සිටීම වැදගත්වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සලකනු ලබන්නේ එදිනෙදා දකින, අසන, කාලීන ප්‍රවෘත්ති, ආරංචි නොව, මෙහිදී තොරතුරු ලෙස සලකනු ලබන්නේ ජනතාවගේ මහජන මුදලින් නඩත්තු වන පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු දැනගැනීමට පවතින අයිතිය පිළිබඳව ය.සාමාන්‍ය ජනතාවට මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය වැදගත් වන්නේ කුමකටද යන්න විශේෂයෙන් මතු කළ යුතු කරුණකි. තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය , සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය වැනි අන්තර්ජාතික ප්‍රඥප්ති තුළින් විශේෂ ඉඩකඩක් වෙන්කර තිබෙන්නේ ද තොරතුරු අයිතියට පවතින්නා වූ වැදගත්කම නිසාවෙන් ම බව පැහැදිලි ය. ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ පැවැත්ම උදෙසා තොරතුරු දැනගැනීමේ අයිතිය අතිශය වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ ජනතාවට ය.

මෙහිදී රටට වැඩදායක, යහපත් ජනතා නියෝජිතයන් පිරිසක් තෝරා ගැනීමට නම් ජනතාවට නිවැරැදි තොරතුරු දැනගැනීම වැදගත් ය. තොරතුරු දැනගැනිමේ පනතේ අන්තර්ගතය දෙසට ද අවධානය යොමු කළ යුතු ය.
පනතේ 05 වන වගන්තිය තුළ ජනතාවට තොරතුරු දැනගැනීමට හැකියාව පවතින ආයතනයක් පිළිබඳව දක්වා ඇත.ඒ අනුව අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත. ඉහත නම් සඳහන් කරන ලද ආයතනයක් පිළිබඳව එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පවතින්නේ ද ඒ සඳහා තොරතුරු ලබාගැනීමට ක්‍රියා පිළිවෙළක් පනත තුළ දක්වා ඇත. එහි දක්වා ඇති පරිදි සෑම ඉහත දක්වන ලද ආයතනයකටම තොරතුරු ලබාගැනීමට තොරතුරු නිලධාරියෙකු සිටී. ඔහුගෙන් පළමුව තොරතුරු ලබාගත හැක.
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළවිට හෝ ලබාදුන් තොරතුරු පිළිබඳව අතෘප්තිමත් වන පුරවැසියෙකුට ඒ පිළිබඳව ආයතනයේ සිටින අභියාචනා නිලධාරියාට පැමිණිලි කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවුණහොත් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට’ අභියාචනාවක් ඉදිරිපත් කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවන පුරවැසියකුට අභියාචනාධිකරණයේ අභියාචනාවක් ගොනුකර තම තොරතුරු දැනගැනී‍ෙම් අයිතිය වෙනුවෙන් යුක්තිය ඉටුකර ගත හැක.මේ පනත මඟින් රාජ්‍ය නිලධාරියා හා ජනතාවට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්කර ඇති අතර එලෙස ස්වකීය වගකීම පැහැර හරින අවස්ථාවන්හි දණ්ඩනයට යටත් කළ හැකි බලයක් ද පනත හරහා ලබාදී ඇත. එහිදී යම්කිසි නිලධාරියෙකු තොරතුරු සැපයීම අවහිර කළහොත්, තොරතුරු චේතනාන්විතව වසන් කළ‍ෙහාත් වැරදි තොරතුරු සැපයුවහොත් කොමිසමේ කැඳවීම්වලට අවනත නොවුණහොත් එවැනි අවස්ථාවලදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමට හැකියාවක් ලැබෙන අතර එහිදී වැරදිකරු වූ පුද්ගලයෙකුට රු. 50,000/= නොවැඩි දඩයකට හා වසර 02 ක් නොඉක්මවන සිරගත කිරීමකට හෝ දෙයාකාරයේ දඬුවමට යටත් කිරීමේ හැකියාව පවතී.
   මේ අයුරින් පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට ගෙන එන ලද මෙම තොරතුරු දැනගැනීමේ පනත දූෂණයට, අල්ලසට එරෙහි ප්‍රබල භාවිතයක් ලෙස යොදාගැනීමේ පරම අයිතිය හිමිවන්නේ පුරවැසියන්ට ය.එබැවින් වචනයට පමණක් සීමා නොවූ යහපාලන රාජ්‍යයක් නිර්මාණය කිරීමට පුරවැසියාට ද පනත හරහා අවස්ථාව හිමිකර දී ඇති අතර එය නිසි ලෙස භාවිතා කිරීමට පුරවැසියන් උත්සුක විය යුතු ය.